Loading...

ප්‍රධාන කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රම

  • ගොඩ ක්‍රමය
  • වල ක්‍රමය
  • බැරල් ක්‍රමය
  • කෝ‍ටු රාමු ක්‍රමය
ගොඩ ක්‍රමය
  • පහසුම ක්‍රමය වේ.
  • විශාල ප්‍රමාණයේ වාණිජ කොම්පෝස්ට් නිෂ්පාදනයට වුවද සුදුසුම ක්‍රමය වේ.
  • පෙරළීමට පහසුය.
  • ප්‍රශස්ථ තෙතමනය,වාතය, හා උෂ්ණත්වය වැනි තත්ත්ව පවත්වා ගැනීමට සුදුසුම ක්‍රමය වේ.
  • අඩු ශ්‍රමයක් වැය වේ.
  • විශාල මෙන්ම කුඩා පරිමාණයේ නිෂ්පාදන සඳහා සුදුසු වේ.
ගොඩ ක්‍රමය කොම්පෝස්ට් නිපදවීමේදී අනුගමනය කළ යුතු වැදගත් ක්‍රමය ලෙස සැලකේ.වෙනත් ක්‍රම හා සැසදීමේදී මෙහි ප්‍රයෝජන ගනණාවක් දක්නට ලැබේ.

ගොඩ ක්‍රමයේ වාසි :
  • පහසුම ක්‍රමය වේ.
  • ඉක්මණින් දිරාපත් වීම සිදුවේ.
  • හොඳින් වාතාශ්‍රය ලබාදීමට හැකිවේ
  • ප්‍රශස්ත තෙතමනයක් පවත්වා ගැනීමට හැකි වේ.
  • පෙරලීමට පහසු වේ.
  • නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් වලට පස් හෝ වැලි මිශ්‍ර වීම අවම වේ.
  • මහා පරිමාණයේ කොම්පෝස්ට් නිෂ්පාදනයට සුදුසුම ක්‍රමය වේ.
  • කුඩා පරිමාණයේ නිෂ්පාදන සඳහා ද සුදුසු වේ.
  • සියලුම වාණිජ කොම්පෝස්ට් නිෂ්පාදකයින් අනුගමනය කරනු ලබන ක්‍රමය වේ.
  • දිරාපත් වීම බොහෝ විට සාර්ථකව මෙන්ම ඒකාකාරීව සිදු වේ.
  • මැස්සන් ඇති වීම හා දුගදක් හැමීම වැනි ගැටළු ඇති නොවේ.
මේ නිසා කොම්පෝස්ට් නිෂ්පාදනයේ සාර්ථකත්වය සඳහා කරුණු ගණනාවක් නිසා පහසු , ලාභදායි හා සාර්ථක ක්‍රමය වන ගොඩ ක්‍රමය අනුගමනය කිරිම වැදගත්ය.ගොඩ ක්‍රමයේදී නිපදවන ගොඩේ ප්‍රමාණය අමුද්‍රව්‍ය සුලභතාවය මත වෙනස් කරගත හැකිය.ගොඩ ක්‍රමයේදී දිරාපත් වීම හොඳින් සිදු වීමට ගොඩේ පළල වැඩි කර ගැනීම නොකළ යුතුය .එසේම ,ගොඩේ උස වැඩි කර ගැනීමෙන් ගොඩේ විවිධ ක්‍රියාකාරකම් සිදු කිරිමේ අපහසුතා ඇති වේ.නමුත් ගොඩේ දිග අමුද්‍රව්‍ය සුලභතාවය මත වෙනස් කරගත හැකිය.එය නිෂ්පාදන ක්‍රියාවලියට එතරම් බලනොපානු ඇත.

ගොඩ ක්‍රමයට කොම්පෝස්ට් නිෂ්පාදනයේ පියවර


කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු
  • අමුද්‍රව්‍ය පහසුවෙන් සපයාගත හැකි ප්‍රදේශයක් හා ස්ථානයක් වීම.
  • අමුද්‍රව්‍ය හා නිෂ්පාදනය කල කොම්පෝස්ට් පහසුවෙන් ප්‍රවාහනය කල හැකි ස්ථානයක් වීම.
  • ජලයෙන් යට නොවන ස්ථානයක් වීම.(පහත් බිම් ප්‍රදේශයක් නොවීම.)
  • ජලය සපයාගත හැකි ස්ථානයක් වීම.
  • නිවාසවලට සමීප ස්ථානයක් නොවීම.
  • ජල ප්‍රභව වලට හෝ ලිංවලට ආසන්න ස්ථානයක් නොවීම.
නිපදවන ස්ථානය සකස්කර ගැනීම
  • නිෂ්පාදන ස්ථානයේ භූමිය පිරිසිදු කර ගන්න.
  • ගල් කැට ඉවත් කර පොළොව මට්ටම් කර ගන්න.
  • පස මතුපිට බුරුල් නම් තාප්ප මෝලකින් පස තලා ගන්න.
  • ස්ථානයේ වතුර බැස යාමට කානු පද්ධතියක් සකස්කර ගන්න.
  • නිෂ්පාදන ස්ථානයේ කාණු ඉදිකළේ නම් එම ඉදිකල කානුවලින් කපාගත් පස් දමා බිම යම්තාක් දුරට උස්වන සේ සකස්කර ගන්න.
  • බිමට සිමෙන්ති දැමීම අවශ්‍ය නොවනු ඇත.
අමුද්‍රව්‍ය සපයා ගැනීම
  • ප්‍රදේශයේ සුලභ කොල වර්ග, තණ කොළ, ජලජ වල් පැලෑටි, බෝග අවශේෂ යනාදිය
  • ප්‍රදේශයේ පහසුවෙන් ලබාගත හැකි ඕනෑම සත්ත්ව අපද්‍රව්‍ය වර්ග
  • නිපදවා ගත් කොම්පොස්ට් ස්වල්පයක් (''මුහුන්'' ලෙස) යෙදීම සඳහා (අමුද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1000 කට මුහුන් කිලෝ ග්‍රෑම් 20 ක් පමණ යෙදීම ප්‍රමාණවත් වේ.)
  • හැකි නම් එප්පාවල රොක් පොස්පේට් පොහොර සපයා ගන්න.( අමුද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1000 කට රොක් පොස්පේට් කිලෝ ග්‍රෑම් 50 ක් පමණ යෙදීම ප්‍රමාණවත් වේ.)
  • අමුද්‍රව්‍ය තෙමීම සඳහා ජලය සපයා ගන්න.
  • වැසීමට කලු ඉටි රෙද්දක් හෝ පොලිසැක් බෑග් හෝ වියා ගත් පොල් අතු සලසා ගන්න.


නිපදවන ආකාරය
පළමු තට්ටුව
  • නිපදවීමට බලාපොරොත්තු වන ගොඩේ ප්‍රමාණයට කෝටුවකින් පොළවේ සැලැස්මක් ඇඳගන්න.
  • අමුද්‍රව්‍ය සුලභතාවය මත ඉදි කරන ගොඩේ ප්‍රමාණය නිර්ණය කර ගන්න.
  • අමුද්‍රව්‍ය බහුලව ඇත්නම් උපරිම පළල අඩි 5 - 6 හා උපරිම දිග අඩි 14 - 15 ක් ලෙස සලකුණු කර ගන්න.
  • අමුද්‍රව්‍ය සීමාසහිත නම් කුඩා ගොඩවල් සකස් කර ගන්න.
  • කොළ අතු හෝ තණකොළ රොඩු අඟල් 9 - 10 ක පමණ තට්ටුවක් පොළවේ මතුපිට අතුරන්න.(පළමු තට්ටුව)
  • කොළ අතුවල මෝරපු දඬු කොටස් ගොඩේ කෙලවරෙන් අඟල් 3-4 ක් පිටතට සිටින සේ තැන්පත් කරන්න.
  • එසේ සිදු කිරීමෙන් පළමු පෙරළීමට ප්‍රථම දඬු එළියට ඇද දැමීමට හැකි වේ.
  • එමගින් දඬුවලින් කොළ එකිනෙක වෙන් කිරීම අවශ්‍ය නොවනු ඇත.
  • එය නිෂ්පාදන වියදම අඩු වීමට හේතු වේ.
  • කොළ හෝ කොළ අතු යටම තට්ටුව ලෙස දැමීමෙන් ගොඩ පතුලේ ජලය එකතු වීම වලකා ගත හැකි වේ.
  • මේ හේතුව නිසා පළමු තට්ටුව ලෙස සත්ත්ව පොහොර නොයොදන්න.
දෙවන තට්ටුව
  • දෙවන තට්ටුව ලෙස සත්ත්ව පොහොර හෝ දිරාපත් වීමට පහසු ශාක කොටස් තැන්පත් කරන්න.
  • සත්ව පොහොර දෙවන තට්ටුව ලෙස භාවිතා කරන්නේ නම් තට්ටුවේ උස අඟල් 2-3 සිට අඟල් 8-9 ක් දක්වා වුවද වෙනස් කර ගත හැකිය.
  • අමුද්‍රව්‍ය සුලභතාවය මත එම සත්ව පොහොර තට්ටුවේ උස වෙනස් කර ගත හැකිය.
  • මෙම තට්ටු දෙකෙහි භාවිතා කල අමුද්‍රව්‍ය වල තෙතමනය ප්‍රමාණවත් නොවේ නම් ජලය එක් කරන්න.
  • නිපදවා ගත් කොම්පොස්ට් ස්වල්පයක් (''මුහුන්'') දෙවැනි තට්ටුවේ මතුපිට සෑම ස්ථානයකම ඉසින්න.
  • ග්‍රාමීයව සුළු පරිමාණයේ කොම්පොස්ට් නිපදවීමේදී ''මුහුන්'' ලෙස තම ගෙවත්තේ කුණු ගොඩෙන් ලබා ගත් දිරාපත් වූ කුණු රොඩු පවා භාවිතා කල හැකිය.
තුන් වන තට්ටුව
  • දෙවන තට්ටුව ලෙස සත්ව පොහොර භාවිතා කළහොත් තුන්වැනි තට්ටුව ලෙස ශාක කොටස් භාවිතා කළ හැකිය.
  • දෙවන තට්ටුව ලෙස ශාක කොටස් භාවිතා කළහොත් තුන් වැනි තට්ටුව ලෙස සත්ව පොහොර භාවිතා කරන්න.
රොක් පොස්පේට් සපයා ගත හැකි නම් තුන් වැනි තට්ටුව මතුපිටින් රොක්පොස්පේට් ස්වල්පයක් ඉසීම සිදු කරන්න.

ගොඩ සැකසීම
  • තුන් වැනි තට්ටුවට පසු ඉහත පරිදි ශාක කොටස් හා සත්ව අපද්‍රව්‍ය නැවත තට්ටු ලෙස තැන්පත් කරන්න.
  • තට්ටු 2 - 3 කට වරක් ''මුහුන්'' ඉසීම සිදු කරන්න.
  • තට්ටු 3 - 4 කට වරක් රොක් පොස්පේට් ඉසීමද සිදු කරන්න.
  • මේ ආකාරයට අමුද්‍රව්‍ය භාවිතා කර අඩි 5 - 5 පමණ උස් වන සේ ගොඩ සකස් කර ගන්න.
  • ගොඩ සැකසීමේදී දිරීමට පහසු හා අපහසු අමුද්‍රව්‍ය මාරුවෙන් මාරුවට ගොඩේ තැන්පත් කරන්න.
  • ශාක අමුද්‍රව්‍ය තට්ටු 2-3 කට වරක් සත්ව අපද්‍රව්‍ය තට්ටුවක් යොදන්න.
  • දින 7-8 කින් ගොඩේ උස අඩුවී ඇති බව පෙනේ.
 
දිරාපත් කිරීම ඉක්මන් කිරීම
  • දිරාපත් වීමට අපහසු අමුද්‍රව්‍ය (වියළි කොළ, පිදුරු, ලී කුඩු වැනි දෑ) තට්ටුවක් ලෙස තැන්පත් කළ පසු ඊට උඩින් සත්ත්ව පොහොර තට්ටුවක් හෝ ''මුහුන්'' යෙදීම දිරාපත් වීම ඉක්මන් කරනු ඇත.
  • දිරාපත් වීමට අපහසු අමුද්‍රව්‍ය හා දිරාපත් වීමට පහසු අමුද්‍රව්‍ය ගොඩේ මාරුවෙන් මාරුවට තැන්පත් කිරීම වඩාත් යෝග්‍ය වේ.
  • ශාක කොටස් තට්ටු 2 - 3 කට වරක් හෝ සත්ත්ව පොහොර තට්ටුවක් භාවිතා කරන්න.
  • සත්ව පොහොර සපයා ගැනීමට අපහසු නම් සත්ව පොහොර තුනී තට්ටුවක් ලෙස පමණක් යොදන්න.
  • සත්ව පොහොර වර්ග ගණනාවක් තිබේ නම් ඒවා ශාක කොටස් තට්ටු 2 - 3 කට වරක් විවිධ වර්ග ලෙස වෙන වෙන තට්ටු ලෙස තැන්පත් කරන්න.
තෙතමනය පවත්වා ගැනීම
  • කොළ පැහැති කොළ වල තෙතමනය පවතින අතර ඒවා ඉක්මණින් දිරාපත් වේ.
  • වියළි කොළ හෝ වියළි සත්ව පොහොර භාවිතා කරන විට අවශ්‍ය පමණ ජලය යොදන්න.
  • මෙලෙස විවිධ තට්ටු ලෙස ගොඩක් අඩි 4 - 4.5 දක්වා උසට ගොඩ නැගීමෙන් පසු නැවත අවශ්‍ය පමණ ජලය යොදන්න.
ගොඩ ආවරණය කිරීම
  • නිපදවා ගත් ගොඩට වාතය ඇතුල් වන සේ කළු පොලිතීන් හෝ පොලිසැක් බෑග් හෝ වියාගත් පොල් අතු මගින් වසා තබන්න.
  • පොළව මට්ටමේ සිට අඟල් 6 සිට 12 ක් පමණ උසකින් ආවරණය පවත්වා ගැනීමෙන් ගොඩට වාතය ඇතුල්වීමට හා පිටවීමට හැකිවේ.
  • ගොඩ තුළට හොඳින් වාතාශ්‍රය ලැබීමෙන් දිරාපත් වීම ඉක්මනින් සිදුවේ.
ගොඩේ තෙතමනය පරීක්ෂා කිරීම
  • දින 6 - 7 කට පසු වැස්ම ඉවත්කර උල් කරගත් ලීයක් ගොඩ තුළට ඇතුල් කර එය එළියට ගෙන ලීයේ කෙළවර අතගා බැලීමෙන් ගොඩේ තෙතමනය පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකිවේ.
  • වියළි කාලයේදී අඩු කාලාන්තරයකින් ජලය යෙදීමට සිදුවන අතර වර්ෂා කාලයේදී ජලය යෙදිය යුතු කාලාන්තරය වැඩි වනු ඇත.
  • තෙතමනය අඩු නම් ලීයක් මගින් ගොඩේ මතුපිට සිදුරු කීපයක් සාදා ජලය යොදන්න.
  • ජලය යෙදීමෙන් පසු ගොඩ නැවත පෙර පරිදි වසා තබන්න.
  • පළමු පෙරලීම මාසයකින් පමණ සිදු කරන තෙක් මෙලෙස සතියකට වරක් තෙතමනය පරීක්ෂා කර අවශ්‍ය නම් ජලය යොදන්න.
 
පළමු පෙරළීම
  • මාසයකට පමණ පසු ආවරණය ඉවත් කර ගොඩ හොඳින් පෙරලන්න.
  • එහිදි දිරූ නොදිරූ කොටස් හොඳින් කලවම් වන සේ පෙරලීම සිදු කරන්න.
  • ගොඩ පෙරලීමේදී ''මුහුන්'' ඉසීම සිදුකර හොඳින් කලවම් කරන්න.
  • එමඟින් ''මුහුන්'' ගොඩේ සියළුම ප්‍රදේශ වලට මිශ්‍රවීම සිදුවේ.
  • එසේ පෙරලන අවස්ථාවේදී ''මුහුන්'' එකතු කර කලවම් කිරීම සිදු නොකරන්නේ නම් ගොඩේ තිබු අමුද්‍රව්‍ය අඟල් 9 ක තට්ටුවක් ලෙස තැන්පත් කර එම තට්ටුව මතුපිටට ''මුහුන්'' ඉස නැවත ගොඩ සැකසිය හැකිය.
පළමු පෙරලීම සිදුකිරීමෙන් පසු පෙර සඳහන් කළ පරිදි නැවත වැසූ ගොඩ දින 6 - 7 කට වරක් තෙතමනය පරීක්ෂා කර බලා අවශ්‍ය නම් ජලය යෙදිය යුතුය

දෙවන පෙරළීම
  • ගොඩ නිපදවීමෙන් මාස 2 කට පමණ පසු නැතහොත් පළමු පෙරලීමෙන් මාසයකට පමණ පසු ආවරණය ඉවත් කර දෙවන පෙරලීම සිදු කරනු ලැබේ.
  • මෙම පෙරලීමද පළමු පෙරලීම පරිදි සිදු කරනු ලැබේ. අවශ්‍ය නම් ජලය යෙදීමද සිදු කරන්න.
  • එහිදී ද ''මුහුන්'' එකතු කර කලවම් කිරීම හෝ අඟල් 9 ක තට්ටුවකට වරක් ''මුහුන්'' යෙදීම සිදු කළ යුතුය.
  • දෙවන පෙරලීමෙන් පසුද පළමු පෙරලීමෙන් පසු මෙන්ම ගොඩ ආවරණය කර තබනු ලැබේ.
  • ඉන් පසුවද දින 6 - 7 කට වරක් තෙතමනය පරීක්ෂා කර බලා අවශ්‍ය නම් ජලය යෙදීම සිදු කරන්න.
 
තුන්වන පෙරළීම
  • ගොඩ නිපදවීමෙන් මාස 3 කට පසුව නැතහොත් දෙවැනි පෙරලීමෙන් මාස 1 කට පමණ පසුව තුන්වන පෙරලීම සිදු කරනු ලැබේ.
  • මෙම පෙරලීමද පළමු හා දෙවන පෙරලීම මෙන් සිදු කර නැවත ගොඩ සකස් කර වසා තබනු ලැබේ.
  • මේ අවස්ථාව වන විට බොහෝ අමුද්‍රව්‍ය දිරාපත් වී ඇති අතර නිෂ්පාදනය වූ කොම්පෝස්ට් අවශ්‍ය අවස්ථාවක පාවිච්චියට ගත හැකිය.
  • තුන්වන පෙරලීමෙන් පසු කොම්පෝස්ට් සාර්ථකව නිෂ්පාදනය අවසන් වූ පසු ගොඩ සම්පූර්ණයෙන් වසා තැබීම වඩාත් යෝග්‍ය වේ එයට හේතුව කොම්පෝස්ට් ගොඩේ කෘමීන් බිත්තර දැමීම මින් වලක්වා ගතහැකි බැවිනි.
  • කොම්පෝස්ට් ගොඩක් උපරිම ලෙස තුන් වරක් පෙරලීම ප්‍රමාණවත් වේ.
  • වාණිජ කොම්පෝස්ට් නිෂ්පාදනයේදී මෙලෙස නිෂ්පාදනය කරගත් කොම්පෝස්ට් මිලිමීටර් 4 දැලකින් හලා බෑග් කර වෙළඳපොලට ඉදිරිපත් කළ හැකිය.
  • එසේ හලාගත් පසු දැලේ ඉතිරිවන නොදිරූ රළු කොටස් නැවත කොම්පෝස්ට් ගොඩකට එක්කර අමුද්‍රව්‍ය ලෙස භාවිතා කළ හැකිය.
 
නිෂ්පාදනය කල කොම්පෝස්ට් හි තෙතමනය පරීක්ෂා කිරීම
  • නිෂ්පාදනය කර ගත් කොම්පෝස්ට් ස්වල්පයක් අතට ගෙන හොඳින් මිරිකන්න.
  • ඇඟිලි අතරින් ජලය බිංදු පිටවන්නේ නම් කොම්පෝස්ට් හි අන්තර්ගත තෙතමනය වැඩි බව හැඟී යනු ඇත.
  • එසේ කිරීමේදී ජලය පිට නොවී දුර්වල තත්වයේ පහසුවෙන් කැඩෙන කොම්පෝස්ට් ගුලියක් සේ නිර්මාණය වන්නේ නම් ප්‍රශස්ථ තෙතමනයක් ඇති බව වටහා ගත හැකිය.
  • වාණිජ කොම්පෝස්ට් නිෂ්පාදනයේදී නම් තෙතමනය රසායනාගාරයකින් නිවැරදිව නිර්නය කර ගැනීම වැදගත්ය.
 
 
වල ක්‍රමය
  • වැඩි ශ්‍රමයක් වැය වේ.
  • කුඩා පරිමාණයේ නිෂ්පාදන සඳහා සුදුසු වේ.
  • පෙරළීමට අපහසුය.
  • ප්‍රශස්ථ තත්ත්ව පවත්වා ගැනීමට අපහසුය.
  • වර්ෂා කාලයේදී ගැටළු ඇති කරයි.
  • වානිජ කොම්පෝස්ට් නිෂ්පාදනයට සුදුසු නොවේ.
වල ක්‍රමය :

ග්‍රාමීයව කොම්පෝස්ට් නිපදවා ගැනීමේදී සමහර ගොවීන් මෙම ක්‍රමය අනුගමනය කරනු ලැබේ.එසේම ගෙවතු ආශ්‍රිතව  ද බොහෝ විට වල ක්‍රමය උපයෝගී කර ගනු ලබන බව දැකගත හැකි වේ.කෙසේ නමුත්  , මෙය ගොඩ ක්‍රමය හා සැසදීමේදී සාර්ථක ක්‍රමයක් ලෙස නොසැලකේ.මෙම ක්‍රමයේ විවිධ ගැටළු දක්නට ලැබේ.

වල ක්‍රමයේ අවාසි
:
  • වලක් සැකසීමට අධික ශ්‍රමයක් වැය වේ
  • මෙය වියදම් අධික ක්‍රමයකි
  • දිරාපත් වීමට වැඩි කාලයක් ගත වේ.
  • හොදින් වාතාශ්‍රය නොලැබේ.
  • වර්ෂා කාලයේදී වල් අධික ලෙස ජලය එකතුවීම සිදුවේ.
  • ප්‍රශස්ථ තෙතමනයක් පවත්වා ගැනීම අපහසුය.
  • මෙම ක්‍රමයේදී පෙරලීම අපහසුය
  • මහාපරිමාණයේ කොම්පෝස්ට් නිපදවීමට සුදුසු ක්‍රමයක් නොවේ.
  • වැඩි කොම්පෝස්ට් ප්‍රමාණයක් නිපදවා ගත නොහැකි වේ.
  • වාණිජ කොම්පෝස්ට් නිෂ්පාදකයින් අනුගමනය නොකරන ක්‍රමයකි.
  • නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට්වල සැලකිය යුතු ප්‍රමාණයක් පස් හා වැලි අන්තර් ගත වේ.
  • දුඟදක් ඇතිවීම හා මැස්සන් ඇතිවීම බොහෝ විට දක්නට ලැබේ.
  • වර්ෂාව වැඩි තෙත් කලාපය වැනි ප්‍රදේශ වලට සුදුසු නෙවේ.
මෙම හේතු නිසා කොම්පෝස්ට් නිපදවීමේදි වල ක්‍රමය එතරම් සාර්ථක ක්‍රමයක් ලෙස නොසැලකේ.
 
බැරල් ක්‍රමය :

බැරල් ක්‍රමය කුඩා පරිමාණයේ ගෙවතුවල කොම්පෝස්ට් නිපදවා ගැනීමට යොදා ගත හැකි ක්‍රමයකි.මෙය විශේෂයෙන් නාගරික පරිසරයක සීමිත අමුද්‍රව්‍ය ප්‍රමාණයක් හා ඉඩ ප්‍රමාණයක් ඇති පෙදෙසක යෝග්‍ය වේ.කෙසේ නමුත් වැඩි ප්‍රමාණ වලින් කොම්පෝස්ට් නිපදවීමට මෙය සුදුසු ක්‍රමයක් නොවේ.මේ සදහා සිමෙන්ති , යකඩ හා ප්ලාස්ටික් බැරල් භාවිතා කරනු ලැබේ.මෙම ක්‍රමයේ වාතාශ්‍රය සදහා බැරල්හි බඳේ සිඳුරු සාදනු ලබන අතර  , එමගින් දිරාපත්වීම ඉක්මන් කළ හැකිය.
  • නගරබද ගෙවතු සඳහා සුදුසුය.
  • පෙරළීමට අපහසුය.
  • දිරාපත් වීමට වැඩි කාලයක් ගත වේ.
  • දිනපතා අමුද්‍රව්‍ය සුළු ප්‍රමාණ ලැබෙන ස්ථාන සඳහා අමුද්‍රව්‍ය කළමනාකරණය වැදගත් වේ.
  • විශාල පරිමාණයේ කොම්පෝස්ට් නිෂ්පාදනයට සුදුසු නැත.
  • බැරල් මිලදී ගැනීමට අමතර මුදලක් වැය කිරීමට හේතු වේ.
 
බැරල් ක්‍රමයේ වාසි :
  • දිනපතා ගෙදර දොරේ එකතුවන අපද්‍රව්‍ය කළමනාකරණයට අවස්ථාවක් උදාවේ.
  • ගෙවත්තේ එකතුවන අපද්‍රව්‍ය කලමනාකරණය කර ගැනිමට උපයෝගී කරගත හැකිය.
  • මෙම ක්‍රමයේදී වාතාශ්‍රය හොදින් ලබාදීමට හා තෙතමනය ආරක්ෂා කර ගැනිමට පහසු වේ.
බැරල් ක්‍රමයේ අවාසි:
  • අමුද්‍රව්‍ය සිමිත ප්‍රමාණයක් ඇති ගෙවත්තකට පමණක් යෝග්‍ය ක්‍රමයකි.
  • මෙම ක්‍රමයේ භාවිතා කරනු ලබන බැරල් සදහා සැලකිය යුතු වියදමක් දැරිමට සිදුවේ.
  • මෙහිදි අමුද්‍රව්‍ය පෙරලීමකට භාජනය කරනු නොලබන නිසා දිරාපත් වීමට වැඩි කාලයක් ගත වේ.
මෙහිදි නිපදවා ගතහැකි කොම්පෝස්ට් ප්‍රමාණය සීමාසහිතය

කෝ‍ටු රාමු ක්‍රමය
  • කුඩා ගොවිපළවල් සඳහා සුදුසුය.
  • පෙරළීමක් සිදු නොවේ.
  • ඉක්මණින් වියලීමට භාජනය වේ.
  • බෝග අවශේෂ,වල් පැළ වැනි දෑ ප්‍රතිචක්‍රීයකරණයට වැදගත් වේ.
  • කොම්පෝස්ට් නිෂ්පාදනයට වැඩි කාලයක් ගත වේ.
 
කෝටු රාමු ක්‍රමය:

කෝටු රාමු ක්‍රමය බොහෝ විට කුඩා ගොවිපල වල හෝ ගෙවතු වල භාවිතා කරන ක්‍රමයකි.දිනපතා අපද්‍රව්‍ය එකතුවන ගොවිපල වල හෝ ගෙවතු වලට කුඩා ප්‍රමාණයෙන් කොම්පෝස්ට් නිපදවා ගැනීමට පමණක් මෙම ක්‍රමය භාවිතා කල හැකිය.

කෝටු රාමු ක්‍රමයේ වාසි
:
  • වාතාශ්‍රය හොඳින් ලැබීම
  • දුගඳක් ඇතිවීම හා මැස්සන් ඇති නොවීම
මෙම ක්‍රමය කුඩා ගොවිපලවලට හා ගෙවතුවලට තම අවශ්‍යතාවය මත කොම්පෝස්ට් නිපදවා ගැනීමට අනුගමනය කළ හැකිය.මෙහි ඇති ප්‍රධාන වාසිය නම් දිනපතා අමුද්‍රව්‍ය ජනිත වන ස්ථාන සඳහා එම අමුද්‍රව්‍ය ඒ ඒ අවස්ථාවේදීම කොම්පෝස්ට් නිෂ්පාදනය සදහා භාවිතා කිරිමට ඇති හැකියාවයි.

කෝටු රාමු ක්‍රමයේ අවාසි :
  • ගෙවතුවලට හා කුඩා ගොවිපලවලට පමණක් සුදුසු වේ.
  • කොටු මඟින් රාමුව සෑදිමට වැඩි ශ්‍රමයක් වැය වේ.
  • මෙහි නිෂ්පාදනය කල හැකි කොම්පෝස්ට් ප්‍රමාණය සීමා සහිතය.
  • නිරන්තරයෙන් මෙය වාතාශ්‍රයට නිරාවරනය වී ඇති නිසා වර්ෂාවට හසු වීම හා වියලීම සිදුවේ.
  • මෙම ක්‍රමයේ කොම්පෝස්ට් නිපදවීමට අධික කාලයක් ගත වේ.
  • ක්‍රමානුකූලව තට්ටු තැම්පත් නොකිරිම නිසා දිරාපත් වීම හොදින් සිදු නොවේ.
  • වාතයට හා වර්ෂාවට නිරාවරණය වීම නිසා කොම්පෝස්ට්හි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය බොහෝ විට අපතේ යාම සිදුවේ.
  • කෝටු රාමු ක්‍රමයේදී තෙතමනය ආරක්ෂා කර ගැනීම අපහසුය.
  • මෙහිදී අමුද්‍රව්‍ය පෙරලීමකට භාජනය කරනු නොලබන නිසා දිරාපත් වීමට වැඩි කාලයක් ගත වේ.
  • කාලය ගත වීමෙන් කෝටු දිරාපත් වීම සිදුවේ.
  • නිෂ්පාදනය කල පොහොර පිටතට ගැනීමද අපහසු වේ.

Gudelines and tutorials given by polwatta plant nursery in sri lanka which have high growing specialized in agriculture service is at capital city colombo.Best place for buying and selling variety of flower plants, fruit plants,shrubs,flowers, tree plants,orchids,planting material,ladscapes,ladscapes materials,garden service for best wholesale and retail price, with best quality and range of plant variety .Our goal is to deliver plants in our stock department under best conndition to customers and be the best nurseries plants in sri lanka.we follow best produces to propagate plants.You can buy your all agricultural needs under one hood.How to make compost simple tutorial and step by step guidline for garden nursery and home nursery.please contact polwatta plant nursery for more details.